අපේ දැක්ම
- විශ්වීය හරිත පරිසරය තුල සුහුරු සේවාවෙන් සවිබල ගැන්වූ පුරවැසියෙක් බිහි කිරීම.
අපේ මෙහෙවර
- දැනුම , ආකල්ප , කුසලතා හා ව්‍යවසායකත්වය යන ශක්තීන් හා සේවාවන් උද්දීපනය කරමින් ඉහල ධාරිතාවයකින් යුතු පුරවැසියකු ගොඩනැංවීම වෙනුවෙන් කළමණාකරණය හා නායකත්වය ලබා දීම.
චෝල රජු වන රාජ රාජ හා ඔහුගේ පුත් රාජේන්ද්‍ර (ක්‍රි:ව 1017) විසින් පස්වන මිහිදු රජු ඉන්දියාවට රැගෙන යාමත් සමග අනුරාධපුර රාජධානිය බිදවැටින. ඒ සමග ලංකාවේ අග නගරය පොළොන්නරුව බවට පත්විය. සොලීන් විසින් පොළොන්නරුව “ජනනාතපුරම්“යන නාමයෙන් පවා හැදින්විය. අනුරාධපුර රජවරුන් පොළොන්නරුව උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමට හේතු වුයේ ප්‍රදේශයේ වී වගාවට යෝග්‍ය සරුසාර පසක් හා ජල පහසුකම් පැවතීම හේතුවෙනි. මේ අරමුණින් වසභ ක්‍රි.ව 67-111 ඇළහැර ඇළ ද, මහසෙන් ක්‍රි.ව 274-301 මින්නේරිය හා කවුඩුල්ල වැව් ද, 1 වන උපතිස්ස ක්‍රි.ව 365-406 තෝපාවැවද, 2 වන අග්බෝධි ගිරිතලේ ආදී වැව් හා ඇළ මාර්ග ද ඉදි කළහ. පොළොන්නරුව ආරක්ෂාව අතින් අතිශය වැදගත් ස්ථානයක පිහිටියේය.
සෝලීන්ගෙන් රජරට මුදවාගෙන මහා විජයබාහු (ක්‍රි:ව: 1055-1110) රජතුමා පොළොන්නරු රාජධානියේ පළමු රජු බවට පත්වූහ. මෙම රජතුමා වැව් අමුණු සහ වෙහෙර විහාර අලුත්වැඩියා කොට ශාසනික මෙන් ම ආර්ථික සංවර්ධනය ආරම්භ කළේය. පසුව ජයබාහු,වික්‍රමබාහු හා ගජබාහු පොළොන්නරුවේ රජවිය. ඉන්පසුව රජ වූයේ මහා පරාක්‍රමබාහු (ක්‍රි:ව: 1153-1186) රජතුමාය. ඔහු පොළොන්නරුව පමණක් නොව ලංකාවම පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කිරීමට සමත්විය. මෙතුමාගේ මිය යාමෙන් පසු නිශ්ශංකමල්ල රජතුමා,ලීලාවති රැජිණ වැනි රජවරුන් හා රැජිණියන් විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාලනය ගෙන ගියහ.
දුර්වල රජවරුන්ගේ අසාර්ථක පාලනය හේතුවෙන් ආර්ථිකය මෙන්ම පරිපාලනයද බිදවැටිණ. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් කාලිංග මාඝ (ක්‍රි.ව 1214) රජරට යටත් කොට ගෙන වනසා දැමීම හේතුවෙන් රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වීමත් සමග ප්‍රදේශය වනයෙන් වැසී ගියේ ය. වනරොදින් මෙන් ම පසින් වැසී ගිය පුරාවස්තු නැවත මතු කොට එළිපෙහෙලි කරවා සංරක්ෂණය කිරීම ආරම්භ කළේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ආරම්භ කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගිනි. එම සංවර්ධන කටයුතු තවදුරටත් පවත්වා ගෙන යනු ලබන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි. දැනට පොළොන්නරුව ලෝක උරුම නගරයක් බවට පත් කර ඇත.
වර්තමානයේ පොළොන්නරුව, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ “පිබිදෙමු පොළොන්නරුව“ යන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විශාල සංවර්ධනයක් වෙමින් පවතී.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සීමාවන්
- ශ්‍රී ලංකාවේ උතුරු මැද පලාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල කොළඹින් කි.මි 216 ක් දුරින් මහවැලි මිටියාවතේ තැනිතලා භූමි භාගයක පිහිටි පොළොන්නරුව වූ කලි වර්තමාන දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී.3337.9කි. උතුරු අක්ෂාංශ 7’ 40” – 8’ 21” හා නැගෙනහිර දේශාංශ 80’ 44” – 81’ 20” අතර පිහිටා ඇත. උන්නතාංශය අඩි 50-500 කි. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මාතලේ හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක වලින් මායිම් ව ඇත.
කාළගුණය
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය 28.6c° වන අතර අධික උෂ්ණත්වයක් පවතින ජුලි, අගෝස්තු මාසවල දී එය 36.8c° පමණ වන අතර අවම උෂ්ණත්වයක් පවතින ජනවාරි, පෙබරවාරි වනවිට 20.6c° පමණ වේ. පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඊසාන දිග මෝසම මගින් වර්ෂාව ලැබෙන අතර එය සැප්තැම්බර් සිට ජනවාරි අතර කාලය තුල වාර්තා වේ. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය 119.78mm පමණ වේ.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නාමලේඛනය
| අංකය | නම | සිට | දක්වා |
| 1 | සී.ඊ.එම්. අමරසේකර මහතා | 1952 | 1953 |
| 2 | සී.ඩී. ෆෙන්සේකා මහතා | 1954 | 1955 |
| 3 | ඩබ්.ටී. ජයසිංහ මහතා | 1955.10.20 | 1958.06.01 |
| 4 | ඩී.ආර්.එල්. බාලසූරිය මහතා | 1958.06.02 | 1960.12.11 |
| 5 | ඩබ්.ඒ.බී.සී. සෙනරත් නන්දදේව මහතා | 1960.12.12 | 1961.03.31 |
| 6 | ඩබ්.ආර්.පී. තිලකරත්න මහතා | 1961.04.01 | 1964.01.01 |
| 7 | අයිවන් සමරවික්‍රම මහතා | 1964.01.01 | 1967.08.08 |
| 8 | කේ.එච්.ජේ. විජේදාස මහතා | 1967.08.08 | 1970.07.02 |
| 9 | සූරියගොඩ කපිලරත්න බණ්ඩා මහතා | 1970.07.02 | 1971.06.06 |
| 10 | ආර්.කේ.සී. චන්දන ද සිල්වා මහතා | 1971.06.06 | 1972.01.02 |
| 11 | ටී. අමරදාස ගුණවර්ධන මහතා | 1972.01.03 | 1978.03.01 |
| 12 | ඔස්ටින් ප්‍රනාන්දු මහතා | 1978.03.01 | 1980.02.29 |
| 13 | එච්.එම්.ඩබ්. සමරකෝන් මහතා | 1980.03.01 | 1982.08.26 |
| 14 | යූ.ජී. ජයසිංහ මහතා | 1982.08.27 | 1992.11.25 |
| 15 | ජී.එච්.කේ. අබේකෝන් මහතා | 1992.11.26 | 2000.05.20 |
| 16 | එස්.ඒ.පී. මාකෙහෙල්වල මහතා | 2000.05.21 | 2001.10.09 |
| 17 | ටී.එම්. අබේවික්‍රම මහතා | 2001.10.10 | 2002.10.30 |
| 18 | ආර්.එම්.එම්.බී. රත්නායක මහතා | 2003.08.04 | 2004.07.22 |
| 19 | ජේ. රන්ජිත් විජේතිලක මහතා | 2004.07.16 | 2008.10.08 |
| 20 | ඒ.ඒ.ජී. හුණුපොලගම මහත්මිය | 2008.10.08 | 2008.10.23 |
| 21 | නිමල් අබේසිරි මහතා | 2008.10.21 | 2015.03.15 |
| 22 | ටී.පී. පබාසීලී ජයලත් මහත්මිය | 2015.03.16 | 2015.03.25 |
| 23 | එස්. සේනානායක මහතා | 2015.03.26 | 2016.11.20 |
| 24 | රංජිත් ආරියරත්න මහතා | 2016.11.21 | 2018.08.14 |
| 25 | පණ්ඩුක එස්.පී. අබේවර්ධන මහතා | 2018.08.15 | 2020.02.17 |
| 26 | ඩබ්.ඒ.ධර්මසිරි | 2020.02.18 | 2023.12.26 |
| 27 | ඊ.එම්.ඩී.එස්. ඒකනායක | 2023.12.27 | - |





